ෆෙඞ්‍රිකා ජෑන්ස් මහත්මියට එල්ල කර ඇති තර්ජනය හෙළා දකිමු

2012 ජූලි 10 ඳ මාධ්‍ය නිවේදනය

ෆෙඞ්‍රිකා ජෑන්ස් මහත්මියට එල්ල කර ඇති තර්ජනය හෙළා දකිමු

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තෘ ෆෙඞ්‍රිකා ජෑන්ස් මහත්මිය වෙත අසභ්‍ය වචනයෙන් බැණ වැදී සිදු කර ඇති තර්ජනය ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය අද වන විට මුහුණ දෙමින් සිටින තත්ත්වයෙහි යථා ස්වාභාවය මැනවින් පෙන්නුම් කරන්නක් ලෙස සැලකිය හැකිය. මෙම අපකීර්තිමත් සිදුවීම ඉතා බලවත් ලෙස හෙළා දකින අප සංවිධාන එකතුව, ෆෙඞ්‍රිකා ජෑන්ස් මහත්මියට සිය වෘත්තීය කටයුතු නිදහසේ කරගෙන යාමට ඉඩ සලසමින් ඇයගේ ආරක්ෂාව සහතික කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින්නෙමු.

ෆෙඞ්‍රිකා ජෑන්ස් මහත්මිය ස`දහන් කරන ආකාරයට මෙම තර්ජනය එල්ලවී ඇත්තේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සූරීච් නගරයේ සිට බලූ පැටවෙකු ගෙන්වා ගැනීමට අදාළව කටයුතු සිදු කිරීමේදී ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානයක් මාරු කිරීමට සිදු වූ අවස්ථාවක් පිළිබ`දව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසීමක් සිදු කර ඇති අවස්ථාවකදීය. ෆෙඞ්‍්‍රකා ජෑන්ස් මහත්මිය ප‍්‍රකාශ කරන පරිදි අදාල කරුණු විමසීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දී ඇති පිළිතුරෙහි ‘වාග් විලාශය’ එක් අතකින් දැඩිලෙස තර්ජනාත්මක වී ඇති අතර, අනෙක් අතට ශිෂ්ඨ සම්පන්න සමාජයකදී කිසිසේත්ම භාවිතා කළ නොහැකි වචන යොදා ගනිමින් කරන ලද අපහාසයක් ද වේ.

ජනමාධ්‍යවේදියෙකු ලෙස තමන් වෙත ලැබුනු තොරතුරකට අදාළව කරුණු වැඩිදුරටත් සොයා බැලීම සහ අදාල මූලාශ‍්‍ර තහවුරු කර ගැනීම ජනමාධ්‍ය වෘත්තීය ආචාරධර්මයන්ට අනුව සිදුකළ යුතුව ඇති වෘත්තීයවේදී ගුණයකි. මෙම අවස්ථාවට අදාලව සලකන විට ෆෙඞ්‍්‍රකා ජෑන්ස් මහත්මිය එම කටයුත්ත නිසි ලෙස ඉටුකර ඇති බව පිළිගන්නා අප මාධ්‍ය සංවිධාන එකතුව ඒ ස`දහා සහය දීම මගින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ද තමන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමට සහ යම් වරදක් වී ඇත්නම් එය නිවැරදි කර ගැනීමටද යොදා ගත හැකිව තිබුණි.

එහෙත් අවාසනාවකට සිදු වී ඇත්තේ එවැන්නක් නොවේ.

ජනමාධ්‍යවේදීන්ට මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන්නේ ජනමාධ්‍ය නිදහස හෝ සිවිල් අයිතිවාසිකම් පිළිබදව මායිම් නොකරන,  ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුර්වල කරමින් සිටින හා ඒකාධිපති පාලනයක් සහිත ජන සමාජයන් හී දී පමණකි. ශ‍්‍රී ලංකාව තුළ ද එවැනි සිදුවීම් දිගින් දිගටම සිදුවෙමින් පැවතීම සහ අතීතයේදීත් සිදුවූ එවැනි සිදුවීම්වලදී ඒවා නිවැරදී නොකිරීම තුළ මෙන්ම ඒවාට වගකිව යුත්තන්ට ද`ඩුවම් ලබා දීමට රටක් වශයෙන් ශ‍්‍රි ලංකාව අපොහොසත් වීම මගින් පෙන්නුම් කරන්නේ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍ර භාවිතයට අදාලව  අප වෙළාගෙන ඇති අන්ධකාරයෙහි බිහිසුණු බවය.

එබැවින්, අප මාධ්‍ය සංවිධාන එකතුව මේ මොහොතේ ජනාධිපතිවරයා ප‍්‍රමුඛ රජයෙන් ද නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන ජනතාවගෙන් ද ඉල්ලා සිටින්නේ ඉදිරියේදී හෝ  මෙවැනි අවසානාවන්ත  සිදුවීම් ඇති කිරීමට ඉඩ නොතැබෙන පරිදි තම මැදිහත්වීම් සිදු කරන ලෙසය.

සුනිල් ජයසේකර (කැදවුම්කාර මණ්ඩලය වෙනුවෙන්)

මර්දනයට එරෙහිව පෙළගැසෙමු…

මාධ්‍යවේදී ශාන්තගේ ජීවිතාරක්ෂාව තහවුරැ කරන්න

මාධ්‍ය නිවේදනය

මාධ්‍යවේදී ශාන්ත විජේසූරියගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන්න
නොහඳුනන කණ්ඩායමක් විසින් පසුගිය බ්‍රහස්පතින්දා(ජූලි05) මාධ්‍යවේදියෙකු පැහැරගෙන යාමට දරණ ලද උත්සහයක් වාර්තා වීමෙන් අප සංවිධාන එකතුව බලවත් තිගැස්මකට හා කම්පනයකට පත්ව සිටින අතර, ශ්‍රී ලංකාව තුළ යළි යළිත් මෙවැනි සිදුවීම් වීමට ඉඩතැබීම පිළිබිදව ආණ්ඩුවට සහ ආරක්ෂක අංශවලට අපගේ බලවත් විරෝධය පළ කරන්නෙමු.

මෙම සිදුවීමට මුහුණු දී ඇත්තේ ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමයේ විධායක සභිකයෙකු වන නිදහස් මාධ්‍යවේදි ශාන්ත විජේසූරිය මහතා ය. ගවේශණාත්මක වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදියෙකු ලෙස ඔහු පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලකයන්ගේ සබඳතා ඇති අපරාධ හා වංචා දූෂණ ගණනාවක් පිළිබදව හෙළිදරව් කර ඇති අතර ඒ හේතුව නිසාම පසුගිය කාලය තුළදී ආරක්ෂක අංශවලට සම්බන්ධ යැයි සැකකරන පිරිස් ඇතුළු නොහඳුනන කණ්ඩායම් ඔහු පසුපස ලුහුබඳිමින් සිටින බවට තොරතුරු ආනාවරණය විය. මේ පිළිබදව ශාන්ත විජේසූරිය මහතා විසින් පොලිස් මූළස්ථානයට සවිස්තරාත්මක පැමිණිල්ලක් සිදු කර ඇතත් ඒ පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් හෝ විමර්ෂනයක් සිදු නොවූ බව අපගේ විශ්වාසයයි.
පසුගිය කාලය පුරා මාධ්‍යවේදීන්ට සහ අදහස් පළකිරීමේ නිරතවූ සමාජ ක්‍රියාකාරිකයන්ට අත්වූ බිහිසුනූ ඉරණමට වගකිවයුතු කිසිවෙකුටත් දඩුවම් පැමිණවීමට රජය සහ ආරක්ෂක අංශ අපොහොසත් වීම තුළ තව දුරටත් එවැනි සිදුවීම් ඇතිවීමට පසුබිම සැකසීමේ වගකීම ආණ්ඩුව විසින් බාරගත යුතුව ඇති අතර අප මේ මොහොතේ යළි යළිත් ඉල්ලා සිටින්නේ මාධ්‍යවේදීන් ඇතුලු අදහස් පළකිරීමේ නිරත සමාජ ක්‍රියාකාරිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරිීමට කටයුතු කරන ලෙසය.

විශේෂයෙන්ම මේ මොහොතේ තර්ජනයට මුහුණ දී සිටින මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය මහතාගේ ජීවිත ආරක්ෂාව තහවරු කරන ලෙසත්, ඔහුට තර්ජන එල්ල කරමින් ඔහු පසුපස ලුහුබඳින පිරිස් පිළිබදව හා ඔහු පැහැර ගැනීමට තැත් කළ පිරිස පිළිබඳවද විධිමත් පරීක්ෂණයක් සිදු කරමින් මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආණ්ඩුවේ ඇති වගකීම ප්‍රදර්ශණය කරන ලෙසත් ඉල්ලා සිටින්නෙමු.

කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන්,
 
සුනිල් ජයසේකර(ලේකම්,FMM), ලසන්ත රුහුණගේ (ලේකම්,SWJA)

2012 July 06 දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකි

Shantha Wijesuriya Issuse July 06

Follow

Get every new post delivered to your Inbox.