ජනමාධ්‍යවේදී සම්පත් ලක්මාල් ඝාතනය – පොලීසියෙන් අලුත් විග්‍රහයක්

පුවත්පත් නිවේදනය – 2008 පෙබරවාරි 20 
 
2006 ජූලි 02දා ඝාතනය කරන ලද ජනමාධ්‍යවේදී සම්පත් ලක්මාල් යුද හමුදාවෙන් වැටුප් ලද ඔත්තුකරුවකු යැයි පසුගිය 17 දින සති අන්ත ඉංග්‍රිසි පුවත්පතකට රහස් පොලිස් ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති එච්. ඩබ්. ප්‍රතාපසිංහ  විසින් කරන ලද ප්‍රකාශය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විමතියට හේතු වී තිබේ. මෙම සොයා ගැනීම සඳහා රහස් පොලීසයට මාස 18ක් ගත වීම ඊටත් වඩා ඇදහිය නොහැකි ය.
 
2006 ජූලි 02 දින නි.ම.ව්‍ය.නිකුත් කල ප්‍රකාශයෙහි  මෙසේ සදහන් විය: 
‛‛ජනමාධ්‍යවේදීන් ක්‍රියාකාරී පක්ෂ දේශපාලනයෙහි  හෝ හමුදාමය ක්‍රියාකාරිත්වයන්හි යෙදීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අනුමත කරන්නේ නැත. සම්පත් ලක්මාල් ඝාතනය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකින්නේ ජීවිතයට ඇති අයිතිය සහ තොරතුරු රැස්කිරීමට සහ ඵල කිරීමට ජනමාධ්‍යවේදීන්ට ඇති අයිතිය සළකා ගනිමිනි.’’
 
සිය මව සමඟ ඔහු ජීවත් වු නිවසින් දුරකථන ඇමතුමක් දී බැහැරට කැදවා ගන්නා ලද සම්පත් ලක්මාල්ගේ වෙඩි වැදුනු සිරුර 2006 ජූලි 02 දින අලුයම කොළඹට නුදුරු දෙහිවල දී හමුවිය. මරා දමන විට ඔහු සත්දින සතිපතා පුවත්පතෙහි නිදහස් මාධ්‍යවේදියකු ලෙස සේවය කළ අතර ඊට පෙර පුවත්පත් ගණනාවකම පූර්ණකාලීන සේවයෙහි යෙදී තිබුණි. ඔහුගේ මව වන විශ්‍රාමික ගුරුවරියක වන රූපා ද සිල්වා මහත්මිය ඒ මාරක රාත්‍රියෙහි සම්පත් ලක්මාල් පිටතට කැදවා ගෙන ගිය කුමාර නම් හමුදා නිලධාරියාගේ නම පොලීසියට ලබා දුන්නේ ය. නඩු වාර 8ක් ම පවත්වා ඇති නමුත් එම නිලධාරියා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට හෝ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හෝ පොලීසිය ක්‍රියා කලේ නැත.
 
මෙම සන්දර්භය තුළ රහස් පොලිස් ප්‍රධානියාගේ ප්‍රකාශය විසින් ප්‍රශ්න ගණනාවක් මතු කරයි:
 
ජනමාධ්‍යවේදීන් සිය ඔත්තුකරුවන් ලෙස යොදා ගැනීම රාජ්‍ය ආරක්ෂක  සේවාවන් දිගටම කරගෙන යන දෙයක් ද? ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනමාධ්‍යවේදීන් ආරක්ෂක හමුදාවන්හි වැටුපට සේවය කරන ඔත්තුකරුවන් ලෙස යොදා ගැනීම නිවැරදි දෙයක් ලෙස පොලීසිය සළකන්නේ ද? ජනමාධ්‍යවේදීන් ලෙස පෙනී සිටින තවත් ආරක්ෂක හමුදා ඔත්තුකරුවන් වෙත් ද? සම්පත් ලක්මාල් යුද හමුදා ඔත්තුකරුවකු වී නම් ඔහුගේ මරණය පරීක්ෂණයට ලක් නොකළ යුතු දෙයක් ද? ඔහු මිලිටරි ඔත්තුකරුවකු බව සනාථ කිරිමට පොලිසිය සතු සාක්ෂි තිබේද? ඔහුගේ ඝාතනය සහ මෙම චෝදනාව අතර සම්බන්ධයක් තිබේද? නැත්නම්  ඔහු ඝාතනය කරන ලද්දේ ඔහුගේ ජනමාධ්‍ය භාවිතය නිසා ද?
 
රාජ්‍ය ආයතන විසින්  ජනමාධ්‍යවේදී ඝාතනයන්, පහරදීම් සහ අත් අඩංගුවට ගැනිම් සාධාරණ කිරීම පිණිස ජනමාධ්‍යවේදීන් යුද හමුදාවේ හෝ සන්නද්ධ කණ්ඩායම්හි ඔත්තුකරුවන් ලෙස හැදින්වීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මහත් කණස්සල්ලට හේතු වී තිබේ. 2006 නොවැම්බරයේ දී ජනමාධ්‍යවේදිනී පරමේශ්වරී අත් අඩංගුවට ගත් අවස්ථාවේ දී එය සාධාරණීකරනය කිරීමට ඇය සමඟ අත් අඩංගුවට ගත් තවත් තරුණියක මරාගෙන මැරෙන බෝම්බකාරියක ලෙස පොලීසිය විසින් හදුන්වන ලදී. ඔව්න් දෙදෙනාම කිසිදු චෝදනාවක් නැතිව නිදහස් කිරිමට පසුව පොලීසියට සිදු විය.
 
සම්පත් ලක්මාල් ඝාතනය පිළිබඳ පරීක්ෂන ජනමාධ්‍යට විවෘත කරන ලෙසත් මෙම චෝදනාව ඔප්පු කරන ලෙස හෝ ඉල්ලා අස්කර ගන්නා ලෙසත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය රහස් පොලිස් ප්‍රධානියාගෙන්  ඉල්ලා සිටී. ඔහුගේ මරණයේ සත්‍ය හෙළි දරව්වනු ඇත්තේ හැගීම් දනවන කතාන්තර තුළ නොව නිසි ලෙස යුක්තිය පසිඳලීම තුළ ය. අද ශ්‍රී ලංකාවෙහි සිදු නොවන්නේ ද එයයි.
 

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
කැදවුම්කරු – සුනන්ද දේශප්‍රිය (0777-312457) – ලේකම් – සුනිල් ජයසේකර (011-2851672/3)
ප්‍රකාශක – එස්.සිවකුමාර් (0777-315665)

%d bloggers like this: