යාපනයේ තිනකූරල් පුවත්පතට නොනිල වාරණ නියෝග

පුවත්පත් නිවේදනය  – 2008.04.23 
 

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් සහ යුද හමුදාවේ අනුග්‍රහය ලබන අතුරු හමුදාවන් විසින් යාපනය දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් ගේ ජීවිතවලටත් මාධ්‍ය ආයතනවලටත් සිදුකෙරෙන තර්ජන සහ හිංසන නොකඩවා සිදුවීම පිළිබඳව අප සංවිධානවල අවධානය යොමු වී තිබේ. මෙම තර්ජන සහ හිංසන හේතුවෙන් ප්‍රවෘත්ති වාර්තාකරණයට ප්‍රබල බලපෑමක් ඇති වී තිබෙන අතර මාධ්‍ය නිදහස උල්ලංඝනය වීම හේතුවෙන් උතුරේ පුවත්පත් ප්‍රකාශනය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමට ආසන්න තත්ත්වයක් උද්ගත වී ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙමළ ජාතික සන්ධානයට අයත් යාපනය දිස්ත්‍රික්ක මන්ත්‍රීවරුන්ද පසුගිය අප්‍රේල් 20 වැනිදා ප්‍රකාශ කර තිබුණි.
 
මෑතකදී ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු ප්‍රහාරයකට ලක්ව කුඩාක්කඩල් ප්‍රදේශයේ ධීවරයකු මිය යාමේ සිද්ධිය වාර්තා කිරීමෙන් වලකින ලෙසට තිනක්කුරල් පුවත්පතේ සංස්කාරක වරයා හට යුද හමුදාවෙන් තර්ජනය කර තිබේ.
 
සිකුරාදා රාත්‍රියේ ආයුධ සන්නද්ධව යාපනයේ තිනක්කුරල් කාර්යාලයට කඩා වැදුනු හඳුනා නොගත් පිරිසක් වඩමරාච්චි ප්‍රදේශයේ තුම්පාලෙයි හි පැවැති සාමකාමී යාඥා රැළියක් වාර්තා කළ වාර්තාකරුවකු පිළිබඳ තොරතුරු විමසා තිබේ. එම රැළිය සංවිධානය කරනු ලැබ තිබුණේ ප්‍රදේශයේ කතෝලික දේවස්ථාන කිහිපයක සහභාගිත්වයෙනි. සාමකාමී යාඥා පෙරහැරේ ගමන්ගත් ජනතාව ඉල්ලා සිටියේ මඩු දේවස්ථානය අවට සියලුම ආකාරයේ ගැටුම් සම්පූර්ණයෙන්ම නවත්වා මඩු දේවස්ථානයෙන් ඉවත්කරනු ලැබු මඩු මාතාවගේ ප්‍රතිමාව එහි නැවත ප්‍රතිෂ්ඨාපනය කරන ලෙසය.
 
මෙම සිද්ධීන් පිළිබඳව අප විසින් කරන ලද විමසීමකදී යාපනයේ තිනක්කුරල් කාර්යාලයේ කළමනාකාරිත්වය සිද්ධීන් දෙකම සනාථ කළේය.
 
මෙම අයහපත් තත්ත්වය නොකඩවා පැවැතීම කිසිසේත්ම පිළිගත හැක්කක් නොවේ. එහෙයින් අප, රජයෙන් සහ සියලුම සන්නද්ධ හමුදාවන් ගෙන් ඉල්ලා සිටින්නේ යාපනයේ ජනජීවිතයට බාධා වන ලෙස එහි ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බාධා පැනවීමෙන් වළකින ලෙස සහ එහි මාධ්‍යවේදීන්ගේත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේත් මාධ්‍ය කාර්යාලවලත් ආරක්‍ෂාව සුරක්‍ෂිත කරන ලෙසයි.
 
එසේම එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන්ද ඇතුලුව සෙසු ආයුධ සන්නද්ධ අතුරු හමුදාවන්ගෙනුත් ඉල්ලා සිටින්නේ මාධ්‍ය නිදහසටත් ප්‍රකාශනයේ නිදහසටත් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියටත් ගරු කරමින් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන වලට ප්‍රහාර එල්ල කිරීමෙන් වළකින ලෙසයි.
 

 
සනත් බාලසූරිය 077 363 0000 – සුනන්ද දේශප්‍රිය 0777 312457
ධර්මසිරි ලංකාපේලි 077 364 1111 – එන්.එම් අමින් – ආර්. භාරතී
ශ්‍රී ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය, අංක 1c 1/1, 28 වැනි පටුමඟ, මල් පාර, කොළඹ 07.
 
 
 
 
 

%d bloggers like this: