‛‛ලංකා ඊ නිව්ස්’’ මාධ්‍යවේදියාට පහරදීම හෙළා දකිමු

                                                                                                                                                                                                                                 

 
 
පුවත්පත් නිවේදනය – 2008.04.23 
 
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය මහතාට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික පිරිසක් විසින් පහර දෙමින් ඔහුගේ මාධ්‍ය වාර්තාකරණ කටයුතුවලට බාධා පැමිණවීමේ සිද්ධිය පිළිබඳව අප මාධ්‍ය සංවිධාන එකමුතුවේ අවධානය යොමු වී තිබේ.
 
පාර්ලිමේන්තු රථගාලේ නවතා තිබූ වාහන දෙකක් පැහැරගෙන යාමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත විජේසේකර මහතාත්, එම වාහන පදවා ගෙන ගිය බව කියන රියැදුරන් දෙදෙනාත් පසුගිය 21 දා ඇප පිට නිදහස් වූ අවස්ථාව වාර්තා කරන්නට ගිය අවස්ථාවේ ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදියා මෙම පහරදීමට ලක්ව ඇති බව අපට දැනගන්නට ලැබී තිබේ.
 
මීට පෙර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ද ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදියා වෙත බාධාවන් එල්ල කෙරුණු අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය සම්බන්ධයෙන් අවමන් සහගත ප්‍රකාශයක් කළේය.
 
මේ සිදුවීම් මාලාව සම්බන්ධයෙන් අපි නැවත වරක් ජනතා විමුක්ති පෙරමුණ වෙත අපගේ අප්‍රසාදය පළකරමු. දේශපාලන පක්‍ෂ වලට ජනතාව වෙත තම අදහස් ප්‍රකාශ කරන්නට ඇති අයිතිය අපි පිළිගනිමු. ඒ සමඟම තම මාධ්‍ය පරිශීලනය කරන පාඨකයන් වෙත ස්වාධීනව තොරතුරු සම්පාදනය කරන්නට මාධ්‍යවේදීන්ට ඇති අයිතියට ගරුකරන ලෙසත් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටිමු.
 
මේ සම්බන්ධයෙන් ජවිපෙ වාචිකව ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙන් සමාව ඉල්ලා ඇති බව ලංකා ඊ නිව්ස් වෙබි අඩවිය අප වෙත දන්වා තිබේ.  ඒ සම්බන්ධයෙන් අපේ සතුට ඵලකරන අප සංවිධාන නැවත මෙවැනි අප්‍රසන්න සිදුවීම් සිදු නොවීමට වග බලාගන්නා ලෙසත් එවැනි ප්‍රචණ්ඩ හැසිරීම්වලට යා නොදී තම සාමාජිකයන් පාලනය කරගන්නා ලෙසත් එම පක්‍ෂයේ නායකයන්ගෙන් ඉල්ලා සිටිමු. 
 
 
 
සනත් බාලසූරිය 077 363 0000 – සුනන්ද දේශප්‍රිය 0777 312457
ධර්මසිරි ලංකාපේලි 077 364 1111 – එන්.එම් අමින් – ආර්. භාරතී
ශ්‍රී ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය, අංක 1c 1/1, 28 වැනි පටුමඟ, මල් පාර, කොළඹ 07.
 
 
 
 
 

 
 
 
 
   

%d bloggers like this: