ජනමාධ්‍ය සංගමයක ප්‍රධානීන්ට තරවටු කිරීම

ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය (SLWJA)

මාධ්‍යසේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU)

ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදය (SLMMF)

ශ්‍රී ලංකා දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සන්ධානය (SLTJA)

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM)  
 
2008/05/28. 
ආරක්ෂ ලේකම්,
ගෝඨාභය රාජපක්ෂ මහතා,
ආරක්ෂක අමාත්‍යාංශය,
කොළඹ.
 
ගරු ලේකම්තුමනි, 
 
ජනමාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දීමට එරෙහිව අප සංවිධාන පහ විසින් පසුගිය 22වැනි දින කොල්ලුපිටිය මංසන්ධියේ දී පවත්වන ලද සාමකාමි විරෝධතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදින් ගේ සංගමයේ සභාපති සනත් බාලසූරිය  සහ එහි ප්‍රධාන ලේකම් පෝද්දල ජයන්ත යන මහත්වරුන් ඔබ විසින් පසුගිය 26 වැනි දින ඔබ ගේ කාර්යාලයට කැඳවා කරන ලද දෝෂාරෝපණය සහ වක්‍ර තර්ජනය අප සංවිධානයන්හි බලවත් කණස්සල්ලට හේතු වී තිබේ.
 
අප විසින් මෙම විරෝධතාව පවත්වන ලද්දේ මෙරට ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යටතේ ය. මෙම අයිතිය මෙරට ජනයා දීර්ඝ කාලයක් තිස්සේ බෙහෝ රජයන් යටතේ භුක්ති විඳ ඇති සහ  අනුලංඝනීය අයිතියකි.  ආරක්ෂ ලේකම්වරයකු විසින් ජනමාධ්‍ය සංගමයක ප්‍රධානීන් කැදවා මෙලෙස දෝෂාරෝපණය සහ තර්ජනය කරන ලද අවස්ථාවක් පසුගිය වසර 25 මුලුල්ලේ ම නොවී ය.
 
කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා පැමිණවීම  පිළිබඳව නිසි පරීක්ෂණ සිදුකරන ලෙසත්, වරදකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ආණ්ඩුවට බල කිරීම මෙම විරෝධතාවේ අරමුණ විය. මෙම සාහසික අපරාධයේ වරදකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව පියවර නොගන්නේ නමි මෙම අපරාධයට ආණ්ඩුව වගකිවයුතු වන බව ට අපි එහි දී කියා සිටියෙමු.
 
සනත් බාලසූරිය සහ පොද්දල ජයන්ත යන ජනමාධ්‍යවේදීන් දෙදෙනා ලේක්හවුස් ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර මහතා විසින් ඔබ හමුවට කැඳවාගෙන ඒමෙන් පසු, ඔවුන් මෙම විරෝධතාවේ වගකිවයුත්තන් ලෙස සළකා ඔබ විසින් පහත සඳහන් කරුණු ඉදිරිපත් කළ බව අප සංවිධානයන්ට වාර්තා වී තිබේ:
 
1. රාජ්‍ය ජනමාධ්‍යයක සේවය කරමින් රජයේ ආරක්ෂක හමුදාවන් විවේචනය කිරීමට අවසර දිය නොහැකි ය.
 
2. රටෙහි ඕනෑම අයෙකු විවේචනය කළ හැකි නමුත් යුද හමුදාව සහ එහි ප්‍රධානීන් විවේචනය කිරීමට කිසිවකුටත් අවසර දිය නොහැක. මෙම විරෝධතාවේ අරමුණ වූයේ හමුදාපතිවරයා සහ යුද හමුදාව විවේචනය කිරීම ය. එබැවින් එය වරදකි.
 
3. එලෙස විවේචනය කළහොත් යුද හමුදා ප්‍රධානීන්ට ගරු කරන පිරිස් විසින් භයානක පියවර ගැනිමට ඉඩ තිබේ. එවැනි පියවර ගැනීම වැරදි නැති අතර ඒවා වැළැක්විමට ආණ්ඩුවට හැකියාවක් නැත.
 
එමෙන්ම අප සදහන් කිරිමට කැමැත්තේ ලේක්හවුසිය රජයට අයත් ජනමාධ්‍යක් නොව නීති විරෝධී ලෙස රජය විසින් තබා ගෙන සිටින මහජන සේවා ජනමාධ්‍යක් විය යුතු මාධ්‍ය ආයතනයක් බව ය. රජයට අයත් ජනමාධ්‍යයක සේවය කරන බැවින් රජය විවේචනය කිරිමට අයිතියක් නැත යන ප්‍රකාශයම අප සලකන්නේ මුලික මානව හිමිකමක් කෙළෙසිමක් ලෙස ය.
 
අප විරෝධතාවයේ අරමුණ වුයේ මෙරට මහජනයා ගේ පොදු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම ය. ජනමාධ්‍යයේ කාර්යභාරය වන්නේ සත්‍යය දැන ගැනීමේ පුරවැසි අයිතියට ගරු කිරීම මිස යුද්ධයට පක්ෂ වීම හෝ විරුද්ධ වීම නොවන බව අප ගේ බලවත් විශ්වාසය යි.  කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීමට අප සංවිධාන  විරෝධය පළකරන්නේ මූලික මානව හිමිකම්  කෙළෙසීමක් සහ මහජනයාගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය කෙළසීමක් ලෙස සළකා ය.
 
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජනමාධ්‍යවේදී සංවිධානය වන ශ්‍රී ලංකා පුවත්පත් කලාවේදීන්ගේ සංගමයේ ප්‍රධානීන් දෙදෙනා කැදවා දෙපැයකටත් වැඩි කාලයක් තිස්සේ කරුණු ගෙනහැරපාමින් තව දුරටත් මෙවැනි උද්ඝෝෂණයන්හි යෙදෙන්නේ නම් ජීවිත අවදානමක් ඇතිවිය හැකි බවට ඔබ විසින් කරන ලද ප්‍රකාශය අප සංවිධාන සළකන්නේ වක්‍ර ලෙස කරන ලද තර්ජනයක් ලෙස ය. රටක ආරක්ෂ ලේකම්වරයා මෙ ලෙස තර්ජනාත්මක ව හැසිරෙන විට රටක නීතිය සහ සාමය රැකගැනීම ඉතා දුෂ්කර වීම අරුමයක් නොවේ.
 
අද දින (28.05.2008) පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවේදී ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා සඳහන් කරන ලද්දේ, රජයේ සේවකයින් වන සනත් බාලසූරිය සහ පෝද්දල ජයන්ත යන අයට රජය විවේචනය කිරීමට අයිතියක් නැති බැවින් ඒ බව දැනුම් දීමට ඔවුන් දෙදෙනා ආරක්ෂක ලේකම්වරයා විසින් කැඳවන ලද බවයි.
 
අප එකහෙළා මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධි ප්‍රකාශය හෙළා දකින්නෙමු. මෙවැනි පුද්ගලයන්ගේ ප්‍රකාශ මගින් සිදුවන්නේ ආණ්ඩුව මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස නොසලකා ක්‍රියා කරන බවට ඇති මතය තව තවත් ශක්තිමත් වීමයි
 
අප සංවිධාන අවසාන වශයෙන් ඔබෙන් ඉල්ලා සිටින්නේ  විවිධ අදහස් දැරීමට පුරවැසියාට ඇති අයිතියට සහ සත්‍ය වාර්තා කිරිමට ජනමාධ්‍යවේදීන්ට ඇති අයිතියට ගරු කරන ලෙස ය. ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක ජනමාධ්‍යයේ මූලික කාර්යභාරය වන මුර පල්ලාගේ භූමිකාව ඉටු කිරීමට ඇති අයිතිය පිළිගනිමින් ඕනෑම විවේචනයක යෙදීමේ අයිතිය පිළිගන්නා ලෙස ය.
 
ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් තවදුරටත් පෙනී සිටීමේ අයිතිය අපි අත්නොහරින්නෙමු. එම අයිතිය වෙනුවෙන් පෙනී සිටීම නිසා සනත් බාලසූරිය හෝ පෝද්දල ජයන්ත යන ජනමාධ්‍යවේදීන් හට කවර හෝ අනතුරක් සිදු නොවනු ඇතැයි ද අපි අපේක්ෂා කරමු. අප ආරක්ෂ ලේකම්වරයා  වන ඔබගෙන් ඉල්ලා සිටින්නේ සනත් බාලසූරිය සහ පෝද්දල ජයන්ත යන මාධ්‍යවේදීන් ද ඇතුළු සියලු ජනමාධ්‍යවේදීන් ගේ සහ මාධ්‍ය ක්‍රියාකාරිකයන් ගේ ජීවිතාරක්ෂාව තහවුරු කිරීමට නො පමාව පියවර ගන්නා ලෙස යි. එ සේ ම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අත්‍යාවශ්‍ය අංගයක් ලෙස ජනමාධ්‍ය නිදහස පිළිගන්නා ලෙසත් මෙවැනි තර්ජනකාරී හැසිරීම් නතර කරන ලෙසත් අප සංවිධාන මහත් ඕනෑකමින් ඔබගෙන් ඉල්ලා සිටී. 
 
 
සනත් බාලසූරිය – සුනන්ද දේශප්‍රිය – ධර්මසිරි ලංකාපේලි – එන්.එම් අමින් – ආර්. භාරතී 
 
 
 
 
 
 
 

%d bloggers like this: