පුවත්පත් නිවේදනය – 2008.06.19

ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය (SLWJA)
මාධ්‍යසේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU)
ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදය (SLMMF)
ශ්‍රී ලංකා දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සන්ධානය(SLTJA)
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM)

අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව ජනමාධ්‍ය සංවිධාන මානව හිමිකම් කොමිෂම ඉදිරියේ පැමිණිල්ලක් ගොනු කරයි 
 
කම්කරු අමාත්‍ය මර්වින් සිල්වා අමාත්‍යවරයා ඇතුළු මැර පිරිසක් ජාතික රූපවාහිනියට ඇතුළු වී එහි ප්‍රවාත්ති අධ්‍යක්‍ෂවරයාට පහර දීමට එරෙහිව මාධ්‍ය සංවිධාන හතරක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ල 2008.06.19 දින විභාගයට ගැනිණි. කොමිෂන් සභාවේ කැඳවීමේ නිවේදනය කඩකරමින් පළමු වන වගඋත්තරකාර අමාත්‍ය මර්වින් සිල්වා මහතා එහි නොපැමිණීමෙන් මානව හිමිකම් කොමිෂමේ ගෞරවය කෙළසීම සහ අපහාස කිරීම ගැන මාධ්‍ය සංවිධාන සිය විරෝධය පළකර සිටියහ.
 
මෙම පැමිණිලි විභාගය සඳහා දෙවන වගඋත්තරකරු ලෙස නම් කර තිබූ කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සහ තුන්වැනි වගඋත්තරකරු ලෙස නම් කර තිබූ පොලිස්පතිවරයා වෙනුවෙන් පොලිස් මූලස්ථාන නීති අංශයේ උප පොලිස් පරීක්‍ෂකවරයෙකු, කොමිෂම ඉදිරියට පැමිණ සිටියේය. පැමිණිල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ සභාපති සනත් බාලසූරිය, ලේකම් පෝද්දල ජයන්ත, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සුනන්ද දේශප්‍රිය, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ ධර්මසිරි ලංකාපේලි සහ මුස්ලිම් මාධ්‍ය සංසදයේ තාහ මුසාමිල් යන අය තම නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සමඟ ඉදිරිපත් ව සිටියහ.
 
එහිදී පළමු වන වගඋත්තරකාර අමාත්‍ය මර්වින් සිල්වා මහතා, පැමිණිලි විභාගය සඳහා සහභාගි නොවූ අතර, ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලිපියක් ඉදිරිපත් කරමින් කොමිෂම වෙත දන්වා සිටියේ සිය අමාත්‍යවරයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගත වී සිටින බවත් ඔහු වෙනුවෙන් නීතිඥ මහතකු පැමිණීමට නියමිත බවත්ය. එහෙත් එවැනි නීතිඥවරයෙකු හෝ වෛද්‍ය සහතිකයක් කොමිසම වෙත ඉදිරිපත් නොකිරීම මානව හිමිකම් කොමිසමට කරන ලද අගෞරව කිරීමක් සහ අපහාස කිරීමක් ලෙස දක්වමින් මාධ්‍ය සංවිධාන සිය විරෝධතාවය ගොනු කළහ.
 
පැමිණිල්ල වෙනුවෙන් වැඩිදුර කරුණු ඉදිරිපත් කිරීම සඳහා ජුනි 30 දිනට පැමිණිලි විභාගය කල්තබන ලදී.
 

 
සනත් බාලසූරිය – 077 3630000 උවිදු කුරුකුලසූරිය -0777289289 ධර්මසිරි ලංකාපේලි – 077364111 එන්.එම් අමින් – 077362999  ආර්. භාරතී- 0773628888

ශ්‍රී ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය, අංක 1C,1/1, 28 වැනි පටුමඟ, මල් පාර, කොළඹ 07.
 
 
 
 
 

%d bloggers like this: