පුවත්පත් නිවේදනය/2008 ජූනි 18

ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය (SLWJA)

මාධ්‍යසේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU)
ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදය (SLMMF)

ශ්‍රී ලංකා දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සන්ධානය (SLTJA)

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM)  
 
මාධ්‍ය මර්දනයට එරෙහි වීමට සහ ජනමාධ්‍යවේදීන් ගේ
ජීවිත ආරක්ෂාව සහතික කිරීමට දේශපාලන පක්ෂ ගිවිස ගනිති. 

ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය නියෝජනය කරන ජනමාධ්‍ය සංවිධාන පහෙහි ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය අද දවසේ මුහුණ දී සිටින මර්දනකාරී තත්ත්වය පිළිබඳව සාකච්ජා කිරීමට මෙරට ප්‍රධානතම දේශපාලන පක්ෂ සියල්ල ම පාහේ පසුගිය ජූනි 17 වන දින කොළඹ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට රැස් වූහ.
 
එහි දී ජනමාධ්‍යවේදී සංවිධාන නියෝජිතයෝ පසුගිය දෙවසර මුළුල්ලේ මෙරට ජනමාධ්‍ය මුහුණ පා සිටින මර්දනකාරී තත්ත්වය පිළිබඳ  කරුණු ඉදිරිපත් කළහ.

පසුගිය දෙ වසර තුළ ඝාතනය කරන ලද කිසිදු මාධ්‍ය සේවකයකු පිළිබඳව හෝ ජනමාධ්‍යට එල්ලකරන ලද තර්ජන ගර්ජන සහ බිය වැද්දවීම් කිසිවක් සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් අවසාන කිරිමට ආණ්ඩුව අසමත්ව තිබීම
 
අමාත්‍ය මර්වින්  සිල්වා පසුගිය දෙසැ 27 වැනි දින රූපවාහිනී සංසංථාවට කඩාවැදීම සහ ඉන් අනතුරුව ඊට එරෙහිවූ ජනමාධ්‍යවේදීන්ට බිහිසුණු හිංසා පැමිණවීම. ජනාධිපති නියෝගයෙන් පසු එම වධහිංසා නතර වු නමුත් සිරස මාධ්‍ය ජාලයට එරෙහිව ප්‍රසිද්ධියේ තර්ජනය කොට එම තර්ජනය පසුගිය වෙසක් පොහෝ දින ක්‍රියාවට නැංවීම. එහෙත් මේතාක් එකී ඇමැතිවරයාට එරෙහිව ආණ්ඩුව කිසිදු පියවරක් නොගැනීම. 
ආරක්ෂ අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය මගින් ජනමාධ්‍ය ආයතන, කතුවරුන්, ජනමාධ්‍ය සංවිධාන සහ ඒවායේ ප්‍රධානීන් ද්‍රෝහීන් ලෙස නම් කොට ඔවුන් ගැන වග බලා ගන්නා ලෙස යුද හමුදා පිරිස් වෙතින් ඉල්ලා සිටීම. එම වෙබ් අඩවිය මගින් ආරක්ෂ අමාත්‍යාංශයේ නාමයෙන් ජනමාධ්‍ය වෙත ස්වයං වාරණයක් සඳහා මගපෙන්වීම් ඉදිරිපත් කිරිම 
දිගින් දිගටම ජනමාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය සංවිධාන ප්‍රධානීන් නම් කොට ඔව්න් මරාදැමිය යුතු බවට වක්‍රලෙස ඉල්ලා සිටින කුපිතකාරී සජීවී  ගුවන් විදුලි වෛර වැඩසටහන් මෙහයවන හඩ්සන් සමරසිංහ ට ආණ්ඩුව විසින් රජයේ ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිධුරය පිරිනැමීම. 

2008 මැයි 26 වැනි දින ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන් ගේ සංගමයේ සභාපති සහ ප්‍රධාන ලේකම් වන සනත් බාලසූරිය සහ පෝද්දල ජයන්ත කැඳවා ඔවුන් සිය ක්‍රියාකාරකම් හි දිගින් දිගට ම නියැලෙන්නේ නම් හමුදා පිරිස් අතින් ඔවුන් ගේ ජීවිතයට අනතුරක් විය හැකි බවට ආරක්‍ෂක ලේකම්වරයා විසින් කරන ලද තර්ජනය. 
ජනමාධ්‍යවේදීන් 200කට වැඩි පිරිසක් සිය වෘත්තියේ නියැලී සිටි යාපනය අර්ධද්වීපයේ ජනමාධ්‍යවලට සහ ජනමාධ්‍යවේදීන්ට එල්ල වූ බිහිසුණු මර්දනකාරී තත්ත්වය සහ එහි ප්‍රතිඵල වශයෙන් අද එහි ක්ෂෙත්‍රයේ වැඩ කරන කිසිදු ජනමාධ්‍යවේදියකු නොමැති වීම. උදයන් පුවත්පතෙහි කර්තෘ සහ ප්‍රවෘත්ති කර්තෘ වසරකට වැඩි කාලයක් ජීවිතය රැක ගැනීම සඳහා සිය කාර්යාලය තුළ ම ජීවත් වීම.
 
ජනමාධ්‍යවේදී ජේ එස් තිස්සනායගම් දින සියයකට වැඩි කාලයක් නඩු නොපවරා ත්‍රස්ත විමර්ෂණ අංශය යටතේ රඳවා තබාගැනීම. අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරන ලද ජනමාධ්‍යවේදීනී මෞනුසාමි පරමේශ්වරී ත්‍රස්තවාදිනියකැයි රජයේ ප්‍රධානීන් දිගින් දිගටම චෝදනා එල්ලකිරීම. 
අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් වන සාමකාමී මහජන විරෝධතාවයන්ට ආණ්ඩු පාක්ෂික පිරිස් විසින් පුත්තලමේ දී සහ කොළඹ දී කරන ලද ප්‍රචණ්ඩ පහරදීම්. 
එමෙන්ම ජනමාධ්‍ය සංවිධාන නියෝජිතයින් කියා සිටියේ ජනමාධ්‍ය නිදහස සමාජයේ ප්‍රජාතන්තවාදී නිදහස සමඟ අත්‍යන්තයෙන් ම බැඳී පවතින බැවින් තොතරතුරු නිදහසේ පනත සම්මත කර ගැනීම, 17වන ව්‍යවස්ථා සංශෝධන බලාත්මක කිරිම, නිදහස් සහ සාධාරණ මැතිවරණ සහතික කර ගැනීම, වෘත්තීය සමිති අයිතිවාසිකම් සුරැකීම සහ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම අරමුණු කරගත් පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීමට තමන් ද මැදිහත් වන බව ය.
 
ඉහත කී තත්ත්වයන්ට අමතරව ජනමාධ්‍ය ආයතන හිමිකාරත්වය වෙනස් කොට ඒවා තමන්ට ගැති ආයතන බවට පත් කරගැනීමේ පිළිවෙතක් ද ආණ්ඩුව පැත්තෙන් ක්‍රියාත්මක වන්නේය යි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා කියා සිටියේ ය.
 
පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනාධිපතිවරයා මුණගැසුණු අවස්ථාවේ දී තොරතුරු නිදහස් පනත ක්‍රියාත්මක කරන්නැ යි ඉල්ලා සිටි විට යුද්ධයක් පවතින වාතාවරණයක් තුළ එම පනත ක්‍රියාවට නැඟිය නො හැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ජනමාධ්‍ය සංවිධාන නියෝජිතයෝ කියා සිටියහ.
 
මෙහි දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් මහතා කියා සිටියේ ජනාධිපතිවරයා ගේ එම ප්‍රකාශය පිළිගත නො හැකි බවත්, යුද ගැටුම් පවත්නා බොහෝ රටවල තොරතුරු නිදහස් පනත් ක්‍රියාත්මක වන බවත් ය. තොරතුරු නිදහසේ පනත වහා ම ක්‍රියාත්මක කිරීම මෙරටට අත්‍යවශ්‍ය බව  රවුෆ් හකීම් මහතා අවධාරණය කළේය.
 
වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා කියා සිටියේ ජනමාධ්‍ය මර්දනයක් පවත්වාගෙන යන ආණ්ඩුවේ නියෝජිතයින් සමඟ එක්ව ජනමාධ්‍ය නිදහස පිළිබඳව සාකච්ඡා කළ නොහැකි බවයි.
 
ආණ්ඩුව විසින් ජනමාධ්‍ය මර්දනයක් පවත්වාගෙන යන්නේය යන්න ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා දැනටමත් ආණ්ඩුව විසින් ජනමාධ්‍ය දුක්ගැනවිළි සොයා බැලීම සඳහා අමාත්‍ය අනුකාරක සභාවක් පත් කර ඇති බවත් 20 වැනි සිකුරාදා සිට එය රැස්වී මෙම තත්ත්වයට පිළියම් යෝජනා කරන බවත් පැවැසී ය. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායමේ නියෝජිත අමාත්‍ය රාජිත සේනාරත්න මහතා   කියා සිටියේ තමන් කිසිදු ලෙසකින් හෝ ජනමාධ්‍ය මර්ධනය අනුමත නොකරන බවත්, දැනටමත් මේ කාරණය සම්බන්ධයෙන් තමන් ඇතුළු පිරිසක් ආණ්ඩුව තුළ කිසියම් හඬක් නඟන බවත්, තව දුරටත් මේ පිලිබඳව සිය අවධානය යොමු කරන බවත් ය.
 
මෙම ඇමැති අනුකාරක සභාව යහපත් වර්ධනයක් ලෙස පිළිගන්නා අතර ම මෙ වැනි කමිටු පිළිබඳ විශ්වාසය කඩවීමේ තත්ත්වයක් ඇති බව ද අවධාරණය කළ ජනමාධ්‍ය සංවිධාන නියෝජිතයෝ, ඇමැති මර්වින් සිල්වා රූපවාහිනියට කඩාවැදීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුවට මේ දක්වා වාර්තාවක් හෝ එළිදක්වන්නට නො හැකි වී තිබීම එ වැනි අවස්ථාවක් බව පෙන්වා දුන්හ. එ බැවින් ප්‍රථමයෙන් මෙම ඇමැති අනුතමිටුව කිසියම් ක්‍රියාකාරී වැඩකොටසක් හරහා විශ්වාසය තහවුරු කළ යුතුය යි ජනමාධ්‍ය නියෝජිතයෝ පෙන්වා දුන්හ. එසේ ම 1995 පොදු පෙරමුණු ආණ්ඩුවේ ජනමාධ්‍ය ප්‍රතිසංස්කරන යෝජනා (ආර්.කේ.ඩබ් ගුණසේකර කමිටු වාර්තාව සහ සිදිත් ශ්‍රී නන්දලෝචන කමිටු වාර්තාව) සහ ආණ්ඩුවේ ජනමාධ්‍ය පිළිවෙත පිළිබඳ කමිටුවට ජනමාධ්‍ය සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද ලියැවිල්ල වහාම සලකා බලන ලෙස ඇමැති අනුකමිටුවෙන් ඉල්ලා සිටියහ.
 
ජාතික හෙළ උරුමය නියෝජනය කළ අක්මීමන දයාරත්න හිමි කියාසිටියේ ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් තම පක්ෂය ද පෙනී සිටින බවත් අමාත්‍ය මර්වින්  සිල්වා සම්බන්ධයෙන් පියවරක් ගත යුතු ය යන ස්ථාවරය තම පක්ෂය දිගින් දිගට ම දැරූ බවත් ය. එහෙත් ආණ්ඩුව ඔහුට එරෙහි ව කිසිදු පියවරක් නොගැනීම තමන්ට තේරුම් ගත නොහැකි බව දයාරත්න හිමියෝ පැවසූහ.
 
මෙම ඇමැති අනුකමිටුව ව්‍යාජයක් වනු ඇතිය යන්න පැමිණ සිටි ඇතැම් පක්ෂ නියෝජිතයන් ගේ අදහස විය.
 
සාකච්ජා සභාවට එක් වු අනෙක් සියලු ම පක්ෂ, එනම් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (මහජන පාර්ශවය), ලංකා කම්කරු කෝ‍රන්ග්‍රසය, ජාතික හෙළ උරුමය, ලංකා සමසමාජ පක්ෂය කදුරට ජනතා පෙරමුණ. බස්නාහිර ජනතා පෙරමුණ, එක්සත් සමාජවාදි පක්ෂය, වාමාංශික පෙරමුණ, වාමාංශික එක්සත් පෙරමුණ, ජනමාධ්‍ය නිදහස සහ ජනමාධ්‍යවේදීන් ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස  පොදු වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යාමට එකඟ වූහ.
 
මේ සඳහා ප්‍රථමයෙන් මූලික ලියැවිල්ලක් සියලු පක්ෂවල එකඟතාවෙන් නිකුත් කිරිමටත්, ඉන් අනතුරුව මහජන රුස්වීමක් සංවිධානය කිරිමටත් එකඟතාවයක් ඇති විය.
 
නො වැළැක්විය හැකි හේතුවක් නිසා මෙම රැස්වීමට සහභාගි විමට නොහැකි නමුත් ජනමාධ්‍ය මත වර්තමානයේ පවත්වාගෙන යන මර්දනයට තමන් මුළුමනින් විරුද්ධ බවත්, ජනමාධ්‍ය නිදහස සහ ජනමාධ්‍යවේදීන් ගේ  ආරක්ෂාව පිළිබඳව සිය පක්ෂය දිගම කටයුතු කරගෙන යන බවත් ජනතා විමුක්ති පෙරමුණ ලිපියක් මගින් දන්වා තිබිණි. තමන්ට කල් වේලා ඇතිව පැමිණීමට නොහැකි වූ බැවින් පැමිණිමට නොහැකි වූ බව දෙමළ ජාතික සංධානය පසුව දන්වා සිටියේ ය.
 
(මෙම සටහන අප සංවිධාන විසින් සකස් කරන ලද අතර කිසිදු දේශපාලන පක්ෂයක නිල අනුමැතිය සඳහා ඉදිරිපත් නොකරන ලද බව කරුණාවෙන් සළකන්න.)
 

සනත් බාලසූරිය – 077 3630000 උවිදු කුරුකුලසූරිය -0777289289 ධර්මසිරි ලංකාපේලි – 077364111 එන්.එම් අමින් – 077362999  ආර්. භාරතී- 0773628888

 
 
 
 
 
 
 
 
 
 
 

%d bloggers like this: