පුවත්පත් නිවේදනය – 2008 සැප්තැම්බර් 03

ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය (SLWJA)
මාධ්‍යසේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU)
ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදය (SLMMF)
ශ්‍රී ලංකා දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සන්ධානය (SLTMA)                                                                                   
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM)

ස්වර්ණවාහිණී මාධ්‍යවේදීන් හට රිය අනතුරකට සම්බන්ධ වාහනයක් රූගත කිරීම පොලිසිය වළක්වයි
 
නඩුවකට සම්බන්ධ එක් පාර්ශවයකට අගතියක් සිදුවිය හැකි බැවින් සාක්‍ෂි ආඥාපනතට අනුව නඩු කටයුත්තකට අදාළ කිසිවක් රූගත කිරීමට ඉඩ දිය නොහැකි බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් ගුණසේකර මහතා විසින් ස්වර්ණවාහිණී ආයතනය වෙත කරන ලද දැනුම්දීම අප සංවිධාන බලවත් විමතියට පත් කරන ලද අතර ඒ සම්බන්ධයෙන් අපගේ බලවත් විරෝධය ප්‍රකාශ කර සිටිමු.
 
මෙම ප්‍රකාශයට හේතු වී ඇත්තේ අගෝස්තු 31 ඉරිදා දෙහිඕවිට ප්‍රදේශයේදී රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන ආරුමුගම් තොන්ඩමන් අමාත්‍යවරයාට අයත් ජීප් රථයක් රිය අනතුරකට භාජනය වී එය රූගත කිරීමට ගිය අවිස්සාවේල්ල ස්වර්ණවාහිණී මාධ්‍යවේදියාට එය රූගත කිරීමට බාධා කරමින් පොලිසිය අවහිර කළ සිද්ධිය පිළිබඳව විමසන ලද අවස්ථාවේදීය.
 
මෙය ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් ලෙස සලකන අප සංවිධාන, පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයාගේ මේ නව ප්‍රතිපත්තියට විරුද්ධ වන්නේ ඒ  අනුව ඕනෑම සිද්ධියක් නඩු කටයුත්තකට පසුබිම් විය හැකි වන නිසා කිසිම සිද්ධියක් රූගත කිරීමට හැකියාවක් නොමැති බව බැරෑරුම් ලෙස සැලකිල්ලට ගනිමිනි.
 
නව පොලිස්පතිවරයා තනතුරට පත්වී පැවැත්වූ මුල්ම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ අපරාධ පිළිබඳ ඡායාරූපමය සාක්‍ෂි ඉදිරිපත් කිරීමට හැකිනම් දිවයිනේ අපරාධ තුරන් කිරීම සඳහා පොලිසියට එය උපකාරයක් වනු ඇති බවය. පොලිස්පතිවරයා එසේ පවසද්දී තවත් පොලිස් නිළධාරීන් සිදුවීම් සම්බන්ධ ඡායාරූප ගැනීම වැළැක්වීම පොලිස්පතිවරයාගේ ප්‍රකාශයට සහමුලින්ම පටහැනි ලෙස ක්‍රියා කිරීමක් බව සැලකිල්ලට ගනී.
 
රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය කරමින් තොරතුරු වාර්තාකරණයට හරස් කපන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ස්ථාවරය සම්බන්ධයෙන් ආණ්ඩුවේ හා රජයේ ප්‍රතිපත්තිය ප්‍රකාශ කරන ලෙස අප සංවිධාන රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය සහ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් සහ නීතිපතිවරයාගෙන් ද ඉල්ලා සිටිමු.
 
සනත් බාලසූරිය – 077 3630000 උවිදු කුරුකුලසූරිය – 0777289289 ධර්මසිරි ලංකාපේලි – 077364111  එන්.එම් අමින්  – 077362999  ආර්. භාරතී  – 0773628888
ශ්‍රී ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය, අංක 1C 1/1, 28 වැනි පටුමඟ, මල් පාර, කොළඹ 07.

%d bloggers like this: