මාධ්‍ය නිවේදනය – 2008 සැප්තැම්බර් 09

ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය (SLWJA)
මාධ්‍යසේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU)  

ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදය (SLMMF)

ශ්‍රී ලංකා දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සන්ධානය (SLTMA) 

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM) 
 
මඩකලපුව ප්‍රාදේශීය මාධ්‍යවේදිනී රාධිකා දේවකුමාර් ඝාතනය කිරීමේ උත්සාහයක්
 
මඩකලපුව ප්‍රාදේශීය ජනමාධ්‍යවේදිනී රාධිකා දේවකුමාර්ට ඊයේ (සැප්තැම්බර් 8 වැනිදා රාත්‍රියේ) නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කිරීමට දරන ලද උත්සාහය අප මාධ්‍ය සංවිධාන තරයේ හෙළා දකී.
ඇය, පුරා වසර අටක කාලයක් තිස්සේ ලේක් හවුස් ආයතනයේ “තිනකරන්” පුවත්පතේ ප්‍රාදේශීය මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කරයි.
මඩකලපුව කල්ලඩි ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසට ඊයේ රාත්‍රි 7.40 ට පමණ පැමිණි නාඳුනන තුවක්කු කරුවන් පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. ඇගේ උරහිසට, පපුවට හා උදර ප්‍රදේශයට වෙඩි ප්‍රහාර 3ක් එල්ල කර තිබිණි.
දැනට ඇය මඩකලපුව ශීක්‍ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. ඇගේ තත්ත්වය තරමක් බරපතල බව මඩකලපුව රෝහල් ප්‍රකාශකයකු අප සංවිධාන වෙත කියා සිටියේය.
රාධිකා දේවකුමාර් “ඉන්ටර් නිවුස්” ගුවන් විදුලි ජාලයේ කල්මුණේ මාධ්‍ය නිවසේ නිෂ්පාදක වරියක් ලෙස ද කටයුතු කළාය. ඊට අමතරව ඇය මඩකලපුව කල්ලඩි ප්‍රදේශයේ “මාධ්‍ය සංවර්ධන සංවිධානය” නමින් රාජ්‍ය නොවන සංවිධානයක් ද පවත්වාගෙන ගියාය. “ශක්ති” රූපවාහිනි සේවයේද ප්‍රාදේශීය මාධ්‍යවේදිනියක් ලෙස ඇය සේවය කර තිබේ.
නැගෙනහිර ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස ඇය ඉතා කෙටි කාලයක් කටයුතු කර ඇත.
අප සංවිධාන සමූහය විසින් පසුගිය වසරේ සංවිධානය කරනු ලැබු මහජන සේවා ජනමාධ්‍ය සම්මාන උළෙලේදී විවිධත්වය ඉවසීම පිළිබඳ ජාතික සම්මානයෙන් ද ඇය පිදුම් ලැබුවාය.
ප්‍රාදේශීය වශයෙන් මාධ්‍යකරණයේ යෙදී සිටින මාධ්‍යවේදීන්ට සහ මාධ්‍යවේදිනියන්ට එරෙහිව පසුගිය කාලය පුරාම මෙවැනි මරණීය තර්ජනයන් එල්ලවිණි. මෙවැනි සිදුවීම් වැඩි වශයෙන් වාර්තාවූයේ යුධමය වාතාවරණයක් පවතින උතුරු නැගෙනහිර පළාත් වලිනි.
මෙවැනි ප්‍රහාරයන් තරයේ හෙළා දකින අප මාධ්‍ය සංවිධාන පෙන්වා දෙන්නේ මාධ්‍යවේදීන් මෙසේ නිහඬ කිරීමෙන් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝණය වන බවය.
එසේම මාධ්‍යවේදීන් හට සිය කටයුතු නිදහසේ කරගෙන යාමට ඇති අයිතියට ගරු කරමින් එය ආරක්‍ෂා කිරීමට කටයුතු කරන ලෙස ද අප මාධ්‍ය සංවිධාන සියලු පාර්ශවයන්ගෙන් අවධාරණයෙන් ඉල්ලා සිටී.
එමෙන්ම මෙම වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව ස්වාධීන පුළුල්, පාරදෘශ්‍යභාවයෙන් යුත් පරීක්‍ෂණයක් සිදුකර වරදකරුවන්ට  එරෙහිව නොපමාව නීතිමය පියවර ගන්නා ලෙස ද අපි වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිමු.

 
 
 
සනත් බාලසූරිය – 077 3630000 උවිදු කුරුකුලසූරිය – 0777289289  ධර්මසිරි ලංකාපේලි – 077 364111 එන්.එම් අමින් – 077 362999  ආර්. භාරතී – 077 3628888

ශ්‍රී ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය, අංක 1C 1/1, 28 වැනි පටුමඟ, මල් පාර, කොළඹ 07.

%d bloggers like this: