ජනාධිපතිවරණයෙන් පසු මාධ්‍ය මුහුණ දෙමින් ඇති තත්ත්වය පිළිබඳව මාධ්‍ය සංවිධාන ජනාධිපතිවරයාට යැවු ලිපිය

2010 පෙබරවාරි 1,
අතිගරු ජනාධිපතිතුමා,
අරලියගහ මන්දිරය,
කොළඹ 03.
ගරු ජනාධිපතිතුමනි,
ජනාධිපතිවරණයෙන් පසු  මාධ්‍ය මුහුණ දෙමින් ඇති තත්ත්වය පිළිබඳව ජනාධිපතිතුමාගේ අවධානය පිණිස ය.
ජනමාධ්‍ය නිදහස ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අත්‍යවශ්‍යයෙන්ම පැවැතිය යුතු බැවින් එම නිදහස සුරැකීමට බැදී සිටින බවට ඔබතුමා මෙරට ජනතාව හමූයේ නැවත නැවත කරන ලද ප්‍රකාශ අගයමින් අද මෙරට මාධ්‍ය නිදහස මුහුණ දී සිටින බරපතල ප්‍රශ්ණ ගණනාවක් ඔබතුමා වෙත ඉදිරිපත් කිරීම මෙම ලිපියේ අරමුණ ය.
අප විසින් මෙයට පෙර කිහිප වරක්ම විවිධාකාරයෙන් පෙන්වා දුන් පරිදි පූර්ව ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සිදුවෙමින් පැවැති අවදියෙහි විවේචනාත්මක සහ විපාක්ෂික අදහස් සහ මතවාදයන් මහා ජනයා කරා ගෙන ගිය ජනමාධ්‍ය ක්‍රමයෙන් උත්සන්න වූ මර්දනයකට මුහුණ දුන්නේ ය. ජනාධිපතිවරණයෙන් පසු එම තත්ත්වය වඩාත් නරක අතට හැරෙමින් පවතින බව අපගේ නිරීක්ෂණය වී තිබේ. පහත සදහන් සිදුවීම් මෙම නිරීක්ෂනයට සාක්ෂි සපයයි.
1. 2010 ජනවාරි 24 වැනිදා රාත්‍රියෙහි අතුරුදහන් වූ ප්‍රවීණ දේශපාලන විචාරක මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා පිළිබඳ හෝඩුවාවක් මේ වන තුරුත් ලැබී නැත. ලංකා ඊනිව්ස් වෙබ් අඩවිය වෙත නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස තම සේවය සැපයූ ඒ මහතා දෙදරු පියෙකි. හෘද සැත්කමකට භාජනය වී සිටින එමෙන්ම දිය වැඩියා රෝගයෙන් පෙළෙන ඒ මහතාට නිතිපතා ඖෂධ ගණනාවක්ම අත්‍යවශය ය. එක්නැළිගොඩ මහතාගේ අතුරුදහන් වීම පිළිබඳව ඔහුගේ බිරිඳ පොලීසියට පැමිණිළි කර ඇති අතර පොලිසිය පවසන්නේ පොලිස් පරීක්ෂණ නොකඩවා පැවැත්වෙන බවයි. ජනවාරි 25 දින ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ජනමාධ්‍ය හමූයේ කියා සිටියේ ඔහුගේ අතුරුදහන්වීම පිළිබද තොරතුරු ආණ්ඩුව සතු බව යි.  ඒ මහතා සොයා දෙන ලෙස හෝ ඒ මහතා පිළිබඳව දන්නා තොරතුරක් ප්‍රකාශයට පත්කරන ලෙස හෝ කිසියම් පිරිසක් ඒ මහතා රඳවා තබාගෙන ඇත්නම් වහාම නිදහස් කරන ලෙස මාධ්‍යවේදීන්ගේ සංවිධාන ලෙස අප මීට පෙර විවෘත ආයාචනයක් කළෙමු. එහෙත් තවමත් ඒ කිසිවකට සාර්ථක ප්‍රතිචාරයක් ලැබී නැත.
2. දිවයිනේ ජනප්‍රියතම දේශීය ප්‍රවෘත්ති අන්තර්ජාල අඩවිය වන ලංකා ඊ නිව්ස් වෙඩ් අඩවිය මැතිවරණ දිනයට පෙරදින සිට ඔවුන්ගේ ග්‍රාහකයනට ලඟාවිය නොහැකි වන ලෙස අවහිර කරන ලදී. ඉන් පසුව එහි කර්තෘවරයා විසින් මැතිවරණ කොමසාරිස් වෙත පැමිණිලි කරන ලද අතර මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග පරිදි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් එම බාධාවන්  ඉවත් කරන ලදී. එහෙත් එතැන් සිට එම වෙබ් අඩවියේ කර්තෘවරයාට සහ කාර්ය මණ්ඩලයට නොකඩවා මරණීය තර්ජන ලැබෙමින් තිබෙන බව අප වෙත වාර්තා වී තිබේ. ඊට අමතරව එම කාර්යාලය අසල ආයුධ සන්නද්ධ නාඳුනන පිරිස් සැරිසරමින් සිටිනු අසල්වාසීන් දැක ඇති බව එම වෙබ් අඩවියේ කාර්ය මණ්ඩලය විසින් වැලිකඩ පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
3. ජනාධිපතිවරණයෙන් පසු ජනවාරි 28 වන දින ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සංස්ථාවේ වැඩ සටහන් නිෂ්පාදකවරයෙකු වන රවි අබේවික්‍රම මහතා හට එම ආයතනයේ සභාපතිවරයා සහ අතිරේක සාමාන්‍යාධිකාරිවරයා ඉදිරිපිටදී ප්‍රවාහන කළමණාකරු විසින් පහරදෙනු ලැබූ බවත් කාංචන මාරසිංහ, හර්බට් කුමාර අලගියවන්න ගාමිණී පුෂ්පකුමාර හා දයා මහින්ද ගුණතිලක යන වැඩසටහන් නිෂ්පාදකවරුන්  හට අසභ්‍ය වචනයෙන් බැණ වැදී ඇති බවත් අප වෙත වාර්තා වී තිබේ. ඊට අමතරව එලෙස බැණ වැදීමට ලක් වූ හර්බට් කුමාර අලගියවන්න මහතාව සේවයෙන් පහකොට ඇති බවත් අනෙක් නිෂ්පාදකවරුන්ගේ සේවය අත්හිටුවා ඇතිබවත් රූපවාහිනි සංස්ථාවේ සේවක වෘත්තිය සමිති විසින් අප වෙත දැනුම් දී තිබේ. මෙම සියලු නිෂ්පාදකවරුන් රූපවාහිනී සංස්ථා නිෂ්පාදක සංගමයේ නිළධාරීන් වන අතර වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සමාජිකයන්ය.
4. ජනවාරි 30වන දින සති අන්ත ජාතික පුවත්පතක් වන ලංකා පුවත්පතෙහි ප්‍රධාන සංස්කාරක චන්දන සිරිමල්වත්ත මහතා කිසියම් කරුණක් සම්බන්ධයෙන් කටඋත්තරයක් ගැනීමට යැයි පවසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති අතර ප්‍රශ්න කිරීමෙන් පසුව ඒ මහතා නොකඩවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගන්නා ලදී. ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලංකා පුවත්පතේ කාර්යාලයට සීල් තබන ලද අතර පසුව අධිකරණ නියෝගයක් පරිදි එම මුද්‍රා ඉවත් කරනු ලැබීය.
5. මැතිවරණය අවසන්වීමෙන් පසුව දිවයිනේ තැනින් තැන සිදුවූ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අතර 28වන දින රාත්‍රියෙහි කුරුණෑගල ප්‍රාදේශීය මාධ්‍යවේදී ගුණරත්න ලියනාරච්චි මහතාගේ නිවසට කිසියම් පිරිසක් විසින් පහරදෙනු ලැබූ සිද්ධිය ද වාර්තා වී තිබේ.
6. 2010 පෙබරවාරි 1 වන දින ලේක්හවුස් ආයතනයේ මාධ්‍ය සේවකයන් කිහිපදෙනෙකු හට කළහකාරී පිරිස් පහරදී ඇති බවත් තුවාල ලද දෙදෙනෙකු රෝහල් ගත කරන ලද බවත් අප වෙත වාර්තා වී තිබේ.
7. පූර්ව ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය හැසිරීම පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන ලද පරිදි  පුළුල් අප්‍රසාදයක් පළ වී තිබු බව ඔබතුමාට සිහිපත් කරනු කැමැත්තෙමු. මැතිවරණයෙන් පසුවත් එම මාධ්‍ය යම් යම් මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන සහ මාධ්‍ය සංවිධාන ඉලක්ක කරගනිමින් වෛරී භාෂාවෙන් යුතු අපවාද ප්‍රචාරය කරමින් සිටිති. ඔබතුමා සහ තවත් අය ඝාතනය කරනු සඳහාත් විරුද්ධ පක්ෂ අපේක්ෂකයා ජයග්‍රහණය කලේ නම් හිතුවක්කාර ලෙස රාජ්‍ය මාධ්‍ය සම්පත් අයුතු ලෙස යොදාගනිමින් වියවුල් සහගත මාධ්‍ය ක්‍රියාවලියක යෙදෙන්නට මාධ්‍යවේදීන් කුමන්ත්‍රණය කර ඇති බවත් මෙම රාජ්‍ය මාධ්‍ය ජනතාව වෙත ප්‍රචාරය කරමින් සිටිති.
ගරු ජනාධිපතිතුමනි, මෙම සිද්ධි සමූහය සමස්තයක් ලෙස ගත් කල මාධ්‍ය කේෂ්ත්‍රය පුරා භීතියක් පැතිර යමින් තිබේ. මන්ද යත් මෙම මර්දනකාරී ක්‍රියා සිදුවන්නේ රටෙහි තැනිත් තැන කළහකාරී පිරිස් විසින් විපාක්ෂික දේශපාලන පිරිස් මත ප්‍රචන්ඩත්වයක් මුදා හැර ඇති තත්ත්වයක් යටතේ ද වන නිසා ය. වර්ධනය වන මෙම තත්ත්වය හැකි ඉක්මනින් පාලනය නොකළහොත් ඉන් අනර්ථකාරී බලපෑම් රාශීයක් ඇතිවිය හැකි බව අපගේ විශ්වාසයයි. ඔබතුමන් ලද ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස භුක්ති විදීමට ඔබගේ පාක්ෂිකයිනට ඇති අයිතිය තෝරාගත් ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදින් කරා මර්දනයක් බවට පත් නොවිය යුතු බව අපි විශ්වාස කරමු. එවැනි තත්ත්වයක් ඔබතුමාගේ ජයග්‍රහණයට එක් කරන්නේ කීර්තියක් නොව අපකීර්තියක් බව ඔබතුමා ද පිළිගන්නවා ඇත.
එහෙයින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය කෙරෙහි මෙරට මහා ජනයාගේ විශ්වාසය යළි තහවුරු කරමින්  මෙම අයහපත් ප්‍රවනතාවය වහාම නැවැත්වීම සඳහා ඔබතුමා මැදිහත් වනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු. අතුරුදහන්ව ඇති ප්‍රගීත් එක්නැළිගොඩ මාධ්‍යවේදීයා සොයාදීම සඳහාත්, අසාධාරණ ලෙස පීඩාවට පත්ව සිටින මාධ්‍යවේදීන්ට සාධාරණය ඉටුකිරීම සඳහාත් නිදහස් ජනමාධ්‍ය පරිසරයක් ඇති කිරීම සඳහාත් ඔබතුමාගේ මැදිහත් වීම මේ
අවස්ථාවේ අත්‍යවශ්‍ය බව අපි තරයේ විශ්වාස කරමු.
ස්තුතියි,
මෙයට විශ්වාසී
මාධ්‍ය සංවිධාන එකමුතුව
%d bloggers like this: