පරිගණක මුදාහරිනවාද නැද්ද තීරණය සැප්තැම්බර් 04දා

අත්අඩංගුවට ගැනුන ශී‍්‍ර ලංකා මිරර් හා ශී‍්‍ර ලංකා එක්ස් නිවුස් පරිගණක මුදාහරිනාවාද නැද්දැයි යන්න පිළිබඳ අවසන් තීරණය ලබන සැප්තැම්බර් 04 වැනිදා ලබාදෙන බව කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කුසලානි පුංචිහේවා මහත්මිය ඊයේ (21) දන්වා සිටියාය.

ජනාධිපතිවරයාගේ රාජකීය මහිමය කෙළෙසීම හා රජය අපහසුතාවයට පත්වන ආකාරයෙන් පුවත් පළ කළ බවට චෝදනාකරමින් අත්අඩංගුවටගත් ශී‍්‍ර ලංකා මිරර් හා ශී‍්‍ර ලංකා එක්ස් නිවුස් මාධ්‍යවේදීන් සම්බන්ධ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මහේස්ත‍්‍රාත්වරිය මේ බව දන්වා සිටියාය.

පරීක්ෂණ කටයුතු අවසන් කර ඇත්නම් එම ආයතනයේ පරිගණක මුදාහරින ලෙස විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා කර තිබූ ඉල්ලීමක් සලකා බලමින් මේ බව ඇය සඳහන් කළාය.

අදාළ පරිගණකවල දත්ත වෙනස් නොකරන පොරොන්දුව මත එම පරිගණක මුදා හැරීමට විරුද්ධත්වයක් නැති බව නීතිපතිවරයා විසින් අද අධිකරණයට දන්වා සිටියේය.

එම පරිගණක පරීක්‍ෂණ කටයුතු සඳහා තවදුරටත් තබා ගැනීම අවශ්‍ය දැයි රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක අනුරද සිල්වා මහතාට පුද්ගලිකව ගොස් අතිරේක සොලිස්ටර් ජනරාල් ජයන්ත ජයසූරිය මහතා හමුවී ලිඛිතව ලබාගෙන මේ නඩුවාරයේදී ඉදිරිපත්කරන ලෙස මහේස්ත‍්‍රාත්වරයා කර තිබූ නියෝගයකට අනුව නීතිපතිවරයා මේ බව අධිකරණයට දන්වනු ලැබීය.

කෙසේවුවද රහස් පොලිසිය මෙහිදී පරිගණක මුදා හැරීමට විරුද්ධවූ අතර ඔවුන් කියා සිටියේ අදාළ පරිගණක මුදා හැරි පසුව ඒවා තුළ ඇති දත්ත වෙනස් කිරීමට හැකි බැවින් ඊට විරුද්ධ වන බවද ඔවුන් එහිදී ඔවුන් කියා සිටියේය.

මෙහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ඊට තදින් විරුද්ධවූ අතර නීතිපතිවරයා දන්වා ඇත්තේ පරිගණකවල දත්ත වෙනස් නොකිරීමට විත්ති පාර්ශවය එකගවන්නේ නම් එය මුදා හැරීමට ගැටලුවක් නොමැති බවයැයි කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇපපිට මුදාහැර සිටින ශී‍්‍ර ලංකා මිරර් කර්තෘ කැළුම් ශිවන්ත, ඡායාරූප ශිල්පී අජිත් සෙනෙවිරත්න, මාධ්‍යවේදීන් වන – ශිරන්තනී මානවඩු, හිමාෂි කරුණාරත්නල තරිඳු රාජපක්ෂ හා වෙළෙඳ කළමනාකරු අසංක නිවන්ත ද  ශී‍්‍ර ලංකා එක්ස් නිවුස් වෙබ් අඩවියේ මාධ්‍යවේදීන් වන සුභාෂ් ජයවර්ධන හා සිද්දික් කාරියප්පර් යන පිරිස අද අධිකරණය හමුවේ  පෙනී සිටියහ.

By -<a href=’http://srilankamirror.com/sinhala/news/1371-mirror-6′>srilankamirror.com</a&gt;

%d bloggers like this: