දුෂ්ඨ අරමුණ පරාජය කිරීම සදහා පෙළ ගැසෙමු!

n

[මාධ්‍ය නිවේදනය] 2014 ජුලි 08

2014 ජුලි 01 දාතමින් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ අධ්‍යක්ෂක/ලේඛකාධිකාරී ඩි.එම්.එස්.දිසානායක නමින් නිකුත් කරන ලද චක්‍රලේඛනය මගින් මෙතෙක් ශ්‍රී ලංකාවේ සිවිල් හා රාජ්‍ය නොවන සංවිධාන භුක්ති විඳි මුලික මානව අයිතිවාසිකමක් උදුරා ගැනීමට ගනු ලබන උත්සාහයට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය බලවත් ලෙස විරෝධය පළකරන අතර ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අගයන සියලු සංවිධාන සහ පුරවැසියන් එයට එරෙහිව පෙළගැසීමට කාලය එළඹ ඇති බව අවධාරණය කරනු කැමත්තෙමු.

මෙම චක්‍රලේඛය මගින් කියවෙන්නේ සමහර රාජ්‍ය නොවන සංවිධාන ඒවායේ බලාධිකාරයට අයත් නොවන ක්‍රියාවන්හි නිරත වන බවත් වහාම එම කටයුතුවලින් වැළකිය යුතු බවත්ය. එම ක්‍රියාවන් ලෙස මෙම චක්‍රලේඛය දක්වන්නේ පුවත්පත් සාකච්ඡා පැවැත්වීම, මාධ්‍ය නිවේදන නිකුත් කිරීම, මාධ්‍යවේදීන් සඳහා පුහුණු වැඩමුළු පැවැත්වීම යනාදිය යි.

ඒ අනුව මෙම චක්‍රලේඛය මගින් සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම විව්‍යස්ථාව මගින් පුරවැසියන්ට තහවරු කර ඇති ප්‍රකාශනයේ සහ සමාගමයේ නිදහස යන මුලික මානව හිමිකම් එක එල්ලේම උල්ලංඝනය කිරීමකි. අනෙක් අතට මුලික මානව හිමිකම් ගණයට අයත් හිමිකම් හුදෙක් චක්‍රලේඛයක් මගින් අහෝසි කළ නොහැකිය. අතිවිශේෂ තත්ත්වයක් යටතේ වුවද එවැනි පියවරක් ගත හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බව ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් නොදැන සිටියේ ද, නොඑසේනම් ඔවුන් සිතාමතාම සිදුකර ඇත්තේ මේ රටේ ආණ්ඩුක‍්‍ර ව්‍යස්ථාවට අපහාස කිරීමකි.
අනෙක් අතට රාජ්‍ය නොවන සංවිධාන යනු මෙරට පුරවැසියන්ගේ සංවිධාන වන අතර පුරවැසියන්ට අයත් සියලු අයිතීන් ඒවාට ද හිමිය. එබැවින් මෙම චක්‍රලේඛණය සහමුලින්ම නීතිවිරෝධී බව අවධාරණය කරන අප වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම චක්‍රලේඛය මගින් රටේ ඕනෑම පුරවැසියෙකුගේ ඕනෑම අදහස් පළකිරීමකට වුව ද යොදාගැනීමේ අනතුර ඇති බවය. එමෙන්ම මෙම චක්‍රලේඛය එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ශ්‍රී ලංකාව අන්තර්ජාතික වශයෙන් බැඳී සිටින මානව හිමිකම් ප්‍රඥප්තීන් ගණනාවක්ම උල්ලංඝනය කරයි.

එබැවින් අප අවධාරණය කරන්නේ මෙම චක්‍රලේඛය ශ්‍රී ලංකාව ඒකාධිපති රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමේ තවත් එක් පියවරක් බවය, එබැවින් මෙම දුෂ්ට අරමුණ පරාජය කිරීම සඳහා පෙළගැසීම සමස්ත ශ්‍රී ලාංකීය ජාතිය සතු පරම වගකීම බව මේ මොහොතේ සිහිපත් කරනු කැමැත්තෙමු.

නිකුත් කරන ලද චක්‍රලේඛනය මගින් මෙතෙක් ශ්‍රී ලංකාවේ සිවිල් හා රාජ්‍ය නොවන සංවිධාන භුක්ති විඳි මුලික මානව අයි… by Sampath Samarakoon

%d bloggers like this: