ටී.එන්.එල් විකාශනාගාරයට මුද්‍රා තැබීම ගැන රජය වැඩිදුර කරුණු පැහැදිලි කළ යුතුයි.  – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

06 ජුනි 2018        මාධ්‍ය නිවේදනය                                                                                 

 

ටී.එන්.එල් රූපවාහිනී නාලිකාවට අයත් පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය ජනාධිපතිවරයා යටතේ පවතින විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව විසින් සීල් තබනු ලැබ ඇත. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්   විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව ඒ සඳහා හේතුව ලෙස දක්වා ඇත්තේ වාර්ෂික බලපත්‍රයේ ප්‍රකාරව කළයුතු ගෙවීම සිදු නොකිරීම බවයි. එහෙත් සිදුවීම සම්බන්ධයෙන් ටී.එන්.එල් සභාපති ශාන් වික්‍රමසිංහ මහතාගෙන් කරුණු විමසන්නට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කටයුතු කළ අතර ඔහු සඳහන් කරන ලද්දේ තම ආයතනය 2018 වර්ෂ‍යේ දෙසැම්බර් වනතුරු බදු මුදල් ගෙවා ඇති බවයි. එය විවාද සම්පන්න කරුණක් බැවින් සිදුවීමට අදාල වැඩිමනත් කරුණු තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතා කරමින් විදුලි සංදේශ නියාමන කොමිසමෙන් විමසන්නට මේ වනවිට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කටයුතු කරමින් සිටි.

මේ අතර පසුගිය දිනවල ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක්  සිය ප්‍රවෘත්ති විකාශයන්හිදී  දැඩි විවේචනාත්මක ස්වරූපයකින් පල කරන්නට ටී.එන්.එල් නාලිකාව ක්‍රියා කර තිබුණි. එම මාධ්‍ය භාවිතය හා මෙසේ පොල්ගහවෙල විකාශනාගාරය සීල් තැබීම අතර සම්බන්ධයක් ඇතිද යන්න පිළිබඳ මේ මොහොතේ සමාජ කතිකාවක් නිර්මාණය වී තිබේ.මෙලෙස තමන් සම්බන්ධයෙන් විවේචනාත්මකව කටයුතු කරන ජනමාධ්‍ය ආයතන බිය වැද්දීම සඳහා විවිධ උපාය මාර්ග අනුගමනය කිරීමේ අවස්ථාව  කිහිපයක්ම  මෑත වකවානුව තුළ වාර්තා විය. එවැනි බිය වැද්දීම්, තර්ජනය කිරීම් හා බාධා කිරීම් මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ යහපැවැත්මට හිතකර නොවන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව කියා සිටී.  මෙම සිදුවීමද නීතිය ඉදිරියට දමා සිදුකළ ඉහත ආකාරයේ බාධා කිරීමක්ද යන සැකය සමාජයේ මතුවී ඇත්තේ පෙර අත්දැකීම් නිසාය . එබැවින් ශ්‍රී ලංකාවෙහි වඩා උසස් මාධ්‍ය සංස්කෘතියක් සේම උසස් දේශපාලන සංස්කෘතියක්ද නිර්මාණය වීම අත්‍යවශ්‍ය බව කල්පනා කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ සඳහා බලපෑම් කරමින් මෙම සිදුවීමට අදාළ සියලු කරුණු ඉතාමත් සැළකිල්ලෙන් අධ්‍යනය කරමින් සිටී. එහිදී ජනමාධ්‍ය අමාත්‍යංශයද මේ පිළිබඳ වැඩිදුර කරුණු පැහැදිලි කිරීමක් රට හමුවේ තබනු ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැඩිදුරටත් අපේක්ෂා කරයි.

කැඳවුම්කරු                                                            ලේකම්
සි දොඩාවත්ත                                                    
     දිලීෂා අබේසුන්දර

Advertisements